Monday, April 25, 2011

දිවි නැගුම

‘දිවි නැගුම’ට පොහොර හා බීජ කට්ටල 9,87,000ක් ලබා දී අවසන්
- ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

දිවි නැගුම වැඩසටහනේ බැනර් වලට කෝටි පනස් ලක්ෂ හැටදාහක් වියදම් කරත් ජනතාව ලැබෙන්නේ රු.100ක් බීජ පැකට් එකක් විතරයි – සමෘද්ධි නිලධාරීන්


දිවි නැගුම’ වැඩසටහන යටතේ ඇති කිරීමට යෝජිත ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂය සඳහා අවශ්‍ය පොහොර හා බීජ කට්ටල 9,87,000කට අධික ප්‍රමාණයක් මේ වන විට ලබා දී අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රවීන්ද්‍ර ‍හේවාවිතාරණ මහතා ප්‍රකාශ කරයි.
කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ 2011.04.20 පැවැති ‘දිවි නැගුම’ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.
රටේ සංවර්ධනයට නවෝදයක් එකතු කළ සියලු පුද්ගලයින්ට ර‍ටේ සංවර්ධනය වෙනුවෙන් සහභාගි විය හැකි ජාතික වැඩපිළිවෙළක් වන ‘දිවි නැගුම’ වැඩසටහන ගෘහ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන බවද හේවාවිතාරණ මහතා පැවසීය.
සියලු ආයතන තම සාමාජිකයන් සමඟ සුහද ව මෙම කටයුත්ත ඉදිරියට රැගෙන යා යුතු බව පැවසු කොමසාරිස් ජනරාල්වරයා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 10ක ක්‍රියාකාරීත්වයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් 577ක් මේ සඳහා දායකත්වය ලබා දෙන බවද වැඩිදුරටත් පැවසීය.


දිවි නැගුම ජාතික වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කරන බැනර් හා කටවුට් සඳහා රැපියල් කෝටි පන්ලක්ෂ හැටදායක් පමණ වියදම් කරත් ජනතාවට ලැබෙන්නේ රුපියල් 100ක් පමණ වටිනා බීජ පැකට් එකක් පමණක් බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. පසුගියදා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කලුගේගේ වැඩ තහනම් කිරිමට හේතුව වී තිබුණේද මෙම ගැටලුව සම්බන්ධයෙන් පෙනී සිටීම බව එම සංගමය චෝදනා කරයි. 2011.04.20 සමෘද්ධි නිලධාරීන්ගේ සංගම‍ය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද භාර දී ඇති බව අප වෙත වාර්තා‍ වේ.

No comments:

Post a Comment