Wednesday, September 21, 2011

රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක්

රාජ්‍ය අංශයේ සිදුවන නොයෙකුත් දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් පමණ ලැබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පැවසීය.
මේ අතර අල්ලස් පනතට නොවැටෙන පැමිණිලි ජනතාව ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය. කෙසේවුවද ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණික වැටලීම් සිදුකරන බව ඔහු පැවසීය. අල්ලස් කොමිසම අක‍්‍රියව පැවැති සමයේ කොමිසමට ලැබුණු පැමිණිලි 3,700 ක් සම්බන්ධයෙන් කොමිසම ස්ථාපනය කළ පසුගිය මැයි 15 වැනිදා සිට විමර්ශන ආරම්භ කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.



මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ ඒවා බව පැවසේ. ඊට අමතරව මූල්‍ය අක‍්‍රමිකතා ඇතළු විවිධ චෝදනා එල්ලවී සිටින ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පිළිබද පරීක්ෂණ පැවැත්වීම මේ වන විට ආරම්භකර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේය.

පසුගිය වසරේ මාර්තු මස 28 වන දිනෙන් පසු ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙන බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පැමිණිලි විභාග කිරීම සදහා පත් කර ඇති විනිශ්චය කමිටුව ඒවා විභාග කිරීමෙන් පසුව නඩු ගොනු කිරීමට නියමිත බව පැවසේ.

අල්ලස් කොමිසම වෙත 1954 යන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එසේ නොමැතිනම් ලිඛිත හෝ වාචික පැමිණිලි එම කොමිසමට ඉදිරිපත් කළ හැකි වේ.

No comments:

Post a Comment